නොතිර නවාතැන
- Hasarel Gallage
- Feb 2, 2022
- 3 min read
Updated: Feb 2, 2022
මම ඉතාලි භාශාවෙන් කියවන විට මට ඇත්තේ සංචාරකයෙකු සතු ආගන්තුක බවකි.නමුත් මා කිසි දිනක එය අසම්මතයකැයි නොසිතමි. මම ඉතාලි භාශාවෙන් ලියන විට, අනවසරයෙන් ඇතුල් වූ තැනැත්තෙක් මෙන් මට හැඟෙයි. මගේ ලියවිලි එතරම්ම ව්‍යාජ හා අස්වාභාවිකය. එවිට මම පළා යන, යම් සීමාවක් තරණය කොට අතරමං වූ තැනැත්තෙක් වග පසක් වෙයි. මම සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙක් වෙමි.
මම ඉංග්‍රීසි භාශාව අතහරින විට, මම මගේ ආධිපත්‍යද අත හරිමි. එවිට මම තව දුරටත් ආරක්ශිත නොවූ දුර්වලයෙකු බවට පත් වෙමි. මගේ ප්‍රධාන භාශාව, මම වඩාත් යැපෙන භාශාව, මම රචකයෙකු වන භාශාවෙන් දුරස්ව ඉතාලි භාශාවට කැප වීමට හේතුව කුමක්ද? රචකයෙකු වීමට පෙර මට පැහැදිලි, ස්ථිර අනන්‍යතාවයක් තිබුනේ නැත. මට පරිපූර්ණ වීමට හැකි වූයේ ලිවීම තුලින් පමනි. නමුත් ඉතාලි භාශාවෙන් ලියද්දී මට එවැන්නක් නොහැඟේ. රචකයෙක් තම ආධිපත්‍යයෙන් බැහැරව නිර්මාණකරනයේ යෙදීම කුමක් වැනිද? මට එවැනි ආධිපත්‍යක් නොහැඟෙන්නේ නම් මා රචකයෙකු ලෙස හඳුනාගත හැකිද?
මම ඉතාලි භාශාවෙන් ලියන විට, සිරවූ මෙන්ම නිදහස්වූ හැඟීමක් දැනෙන්නේ ඇයි? එය ඇතැම්විට ඉතාලි භාශාව තුල මට අසම්පූර්ණ වීමට අවසර ඇති නිසා විය හැකිය. මේ අලුත්, අසම්පූර්ණ හඬට මා මෙතරම් ලොබ බඳින්නේ ඇයි? මේ අසම්පූර්ණ බව මා තෘප්තියට පත් කරන්නෙ ඇයි? මාලිගාවක් අතැර කුඩා වීදියක ඇති නොතිර නවාතැනක ජීවත් වීමේ අර්ථය කුමක්ද? ඒ ඇතැම්විට නිර්මාණශීලී දෘෂ්ටිකෝණයකින් බලන විටදී ආරක්ෂිත වීම තරම් වෙනත් අවදානමක් නොමැති බැවිනි. නිදහස හා සීමාවන් අතර ඇති සබැඳියාව කුමක්දැයි මම කල්පනා කරමි. සිපිරිගෙයක් ඇතැම්විට පාරාදීසියක් වන්නේ කෙලෙසකදැයි මම සිතමි.
මම මෑතකදී සොයාගෙන කියවූ වෙර්ගා විසින් ලියන ලද ඡේදය මට සිහියට නැගෙයි: "ඇතම් විට මම නිදහස අත්විඳ නොතිබුනේ නම්, මේ පවුරු වලින් එපිට ඇති සියලු තෘප්තීන් මට නොදැනුනා නම්, මේ මහපොලොවේ එක් බිම් අඟලක්, ආකාසයෙන් තීරුවක්, හෝ මලින් පිරි බඳුනක්, මේ ලෝකයේ ඇති සතුට විඳීමට මට ප්‍රමානවත් වේ". මෙම ඡේදය එන ලා ස්ටෝරියා ඩි උනා කාපිනෙරා හෙවත් සිංදු කියන කුරුල්ලාගේ කතාවේ කතා නායිකාව වන්නේ අප්‍රකට කන්‍යා සොහොයුරියන්ගේ නිකායකට අයත් කන්‍යාරාමයක සිරවූ සාමනේරවරියකි. ඇය කන්‍යාරාමයෙන් එපිට ගැමි පරිසරයට, ආලෝකයට හා පිරිසිදු වාතයට බොහෝ සෙයින් ආශා කරන්නීය. නමුත් මම මේ සිරවීම ප්‍රිය කරමි. මම ඉතාලි භාශාවෙන් ලියන විට ආකාසයේ එක් තීරුවක්ද මට ප්‍රමාණවත් ය.
අලුත් භාශාවකින් ලිවීමට මට ඇති ආශාව එක්තරා බලාපොරොත්තු සුන් වීමකින් හටගත් දෙයක් යැයි මට පසක් වෙයි. වෙර්ගාගේ සිංදු කියන කුරුල්ලා මෙන් මමද හිංසාවට ලක්වූ සෙයකි. ඇය මෙන් මමත් වෙනත් දෙයකට ඇලුම් කරමි. එය ඇතැම් විට මම ඇලුම් නොකල යුතු දෙයකි. නුමුත් ලිවීමට ඇති ආශාව සැමවිටම බලාපොරොත්තුවකින් මෙන්ම, බලාපොරොත්තු සුන් වීමකින් ද ජනිත විය හැකි බව මම විශ්වාස කරමි. යමෙක් ලියන භාශාව කුමක් වුවත්, එය පිලිබඳ හසල දැනුමක් තිබීම අත්‍යාවශ්‍යය යැයි මම දනිමි. එමෙන්ම එවැනි සැබෑ ශිල්පීයත්වයක් මා සතුව නොමැති බවද මම දනිමි. ඉතාලි භාශාවේ මගේ ලියමන් නොමේරූ, නොසැලකිලිමත් හා සාපේක්ශ වශයෙන් පමණක් නිරවද්‍ය බවද මම තේරුම්ගෙන සිටිමි. ඒ පිළිබඳව මම සමාව අයදිමි. නමුත් එසේ තිබියදීත් ලිවීමට මට ඇති ආවේශය තවදුරටත් පැහැදිලි කිරීමට මම කැමැත්තෙමි. මම රචනයේ යෙදෙන්නේ ඇයි? ජීවය පැවැත්මේ අභිරහස විමර්ශනය කිරීමට මට අවශ්‍යය. මට මා දරා ගැනීමට අවැසිය. මගේ අත් පසුරින් එපිට ඇති සියලු දේ වෙත ලඟා වීමට මට අවැසිය.
මා සංවේගයට පත් කරන, මා ව්‍යාකූලත්වයට පත් කරන, මට රිදුම් දෙන, කෙටියෙන්ම පැවසුවහොත් මම ප්‍රතිචාරයක් දක්වන සියලු දෑ තේරුම් ගැනීමට, මට ඒවා වචන වලට පෙරලිය යුතුය. ලිවීම, ජීවිතය සකස් කරගැනීමටත්, තේරුම් ගැනීමටත් මා සතුව ඇති එකම මගයි. එසේ නොමැති නම් එය මා භීතියට හෝ කම්පාවට පත් කරයි. වචන වලට නොපෙරලන, ලිවීම තුලින් පිරිපහදු නොකරන සියල්ල මට අර්ථාන්විත නොවේ. හැඟීම් අරා සිටින වචන පමණක් මම සැබෑ වචන ලෙස දකිමි. එවැනි වචන වලට අපටත් වඩා බලයක්, වටිනාකමක් ඇති බැව් මම විශ්වාස කරමි.
ලිවීම තුලින් සියලු දේ වටහා ගන්නා මට, ඇතම් විට ඉතාලි භාශාවෙන් ලිවීම එකී භාශාව ගැඹුරින් හා උත්තේජජනක ලෙස ඉගෙනුමට මා දරන ප්‍රයත්නය විය හැකිය. කුඩා කල පටන් මම වචන වලට පමණක් ලෙංගතු වූයෙමි. මට රටක් නැත. ආවේණික සංස්කෘතියක් නැත. ලිවීම හැරෙන්නට, වචන සමග හරඹ කිරීම හැරෙන්නට මේ මහපොළොව මත මම ජීවත් වන බව මට නොහැඟෙනු ඇත. වචනයක අර්ථය කුමක්ද? ජීවිතයේ අර්ථය කුමක්ද? අවසානයේ මට තේරුම් යන්නේ එකම දෙයකි. වචනයකට, පුද්ගලයෙකුට හෝ ජීවිතය තරමටම විවිධ මාන, විවිධ අර්ථයන් හා විසල් සංකීර්ණත්වයක් තිබිය හැකිය. භාශාව යනු කැඩපතකි, රූපකයකි. මන්ද වචනයක අර්ථය, ජීවිතය තරමටම අසීමාන්තික, වචනයෙන් ප්‍රකාශ නොකලහැකි බැවිනි.
වෙබ් සබැඳි

ජුම්පා ලහිරිගේ In Other Words කෘතියේ එන The Fragile Shelter පරිච්ඡේදයේ සිංහල පරිවර්තනයකි.
Comments